Skip to main content

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවීම ආරම්භවීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධූරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද?


19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවීම ආරම්භවීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධූරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද?




19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2015 මැයි මස 15 දින කථානායකවරයා එයට අත්සන් තැබීමෙන් පසුය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ වගන්ති 51ක් ඇති අතර එහි 51වන වගනිතිය හේතුවෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නොතිබුණි.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය මෙසේය.

51. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක් සඳහන් වුව ද මේ පනත ආරම්භ වන දිනයේ දී ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා එසේ ජනාධිපති ධුරය දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත පවරා ගැනීම ද එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කරනු ලැබීම ද කළ හැකි අතර ඒ අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇත අමාත්‍යවරයාට යම් ලිඛිත නීතියක කරනු ලබන යම් සඳහනක්, ජනාධිපතිවරයාට කරනු ලබන සඳහනක් ලෙස කියවා තේරුම් ගනු ලැබිය යුත්තේ ය.

එනම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 මැයි මස 15 දින සිට ක්‍රියාත්මක වුවද එහි 51වන වගන්තිය හේතුවෙන් එතෙක් ධූර දරමින් සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් බලපාන ලෙස එහි 51වගන්තිය සම්මත කර තිබුණි. එනම් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය එතෙක් ධූරය දරන ජනාධිපතිවරයාගේ ධූරය අවසන්වන තෙක් දැරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දී තිබීමය.

2019 නොවැම්බර් 16 දින ජනාධිපතිවරණය පවත්වා 2019 නොවැම්බර් 18 දින ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස ධූරය භාර ගැනීමත් සමගම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51වන වගන්තියේ ක්‍රියාකාරීත්වය නතර වේ. 2019 නොවැම්බර් 18 දිනෙන් පසු අමාත්‍යාංශ සදහා අමාත්‍යවරයන්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සහ  නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කළ යුත්තේ පිළිවෙලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.2, 44.1 සහ 45.1 ව්‍යවස්ථා අනුව සිදු විය යුතුය.

එකී ව්‍යවස්ථා පිළිවෙලින් මෙසේ ය.

43 (2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.

44. (1) ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයන් අතුරෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේ ය.

45. (1) ජනාධිපතිවරයා විසින්, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ට ඔවුන්ගේ කාර්ය ඉටු කිරීමෙහි ලා සහාය වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේ ය.

ඒ අනුව සෑම අමාත්‍යවරයන්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සහ  නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් අතරින් පමණි.

ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 16 දින පැවැත්වීමට පෙර ධූරයේ සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51වන වගන්තියේ විධිවිධානය මත රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂයට අදාල අමාත්‍යධූරයන් සතුකර ගැනීමට හැකියාව තිබුණද 2019 නොවැම්බර් 18 දින ජනාධිපති ධූරය භාරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂයට අදාල අමාත්‍ය ධූර දැරිය නොහැකිය.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(අ) ව්‍යවස්ථාවද සැළකිල්ලට ලක් කළද 4.(අ) ව්‍යවස්ථාව තිබියදී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය ඇතුළත් කර තිබුණි. 4.(අ) ව්‍යවස්ථාව අනුව ආරක්ෂක විෂය ජනාධිපතිවරයාට තබා ගතහැකි වූයේ නම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තියට රාජ්‍ය ආරක්ෂාව ඇතුළත් කිරීමක් අවශ්‍ය නොවේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ආ) ව්‍යවස්ථාව මෙසේ ය.

4 (ආ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය.

ඉහත විධිවිධාන එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.ආ ව්‍යවස්ථාව, 43.2 ව්‍යවස්ථාව, 44.1 ව්‍යවස්ථාව සහ 45.1 ව්‍යවස්ථාව සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය සැළකීමේදී 2019 නොවැම්බර් 18 දින ජනාධිපති ධූරය භාරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසියම් හෝ අමාත්‍යධූරයක් දැරීම සිදුවුවහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව පැහැදිලි අතර 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමට පෙර රටේ ආරක්ෂාව සම්බන්ධව ලබා දුන් යම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වේ නම් එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් පසු ආදේශ කිරීම පිළිගත් නීතිමය පටිපාටිය නොවේ. ඒ අනුව ආරක්ෂක විෂය පමණක් නොව කිසිම විෂයයක අමාත්‍යධූරයක් දැරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවස්ථාවක් නැත. 



19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමට පෙර තිබූ viii පරිච්ඡේදය විධායකය අමාත්‍ය මණඩලය පරිච්ඡේදය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර ඇත. එම නිසා 19 සංශෝධනය සම්මතවීමට පෙර තිබූ 44.2 ව්‍යවස්ථාව එනම් ජනාධිපතිට ඇමති ධූර දැරීමට තිබූ බලතලයද මේ වනවිට ඉවත්කර ඇත. ඒ නිසා ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු කිසිම අමාත්‍යාංශයක්  දැරීමට හැකියාවක් නැත... 


එසේ වුවද ආරක්ෂක අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතරින් පත් නොකර, එමෙන්ම තමන්ද ආරක්ෂක අමාත්‍ය ධූරය නොදරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ආ) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක ලේකම්වරයෙකු මාර්ගයෙන් රටේ ආරක්ෂාව සම්බන්ධව අදාල ක්‍රියාමාර්ග ගැනීමටත්, නියෝග ලබා දීමටත් ජනාධිපතිවරයා වළක්වන කිසිම නීතිමය ප්‍රතිපාදනයක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col),PGDC(Col)
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com
2019.11.21

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි. නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර ඇත. එකී යෝජිත පනත් කෙටුම්පත අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (A Bill to Protection of the Rights of Persons Presenting Submissions before Courts, Tribunals and Institutions.) යන දීර්ඝ නාමයෙන් හදුන්වා ඇත. එකී පනත් කෙටුම්පතේ වගන්ති 5ක් දැක්වෙන අතර එහි 3 වන වගන්තිය මගින් "අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ට වෙනත් ලිඛිත ...