19 වන ව්‍යවස්ථා සංශෝධනය
නිසා “රාජ්‍ය ආරක්ෂාව” අනතුරේ...
නාගානන්ද නිසා “බුද්ධ ශාසනය” අනතුරේ....
ගෙදර
ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී! යන්න වෙනුවට ගෙදර ගියත් - මග හිටියත් රට
නසී යන්න අදට වඩා ගැලපෙන බව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට සහ රාජ්‍ය
ආරක්ෂාව පත්වී ඇති තත්ත්වය විමසා බැලීමේදී පැහැදිලිවන බව පෙන්වා දීම මෙම ලිපියෙන්
අපේක්ෂා කරයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම මෑතකාලීනව ශ්‍රී
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බොහෝ පිරිසකගේ ප්‍රසාදයට ලක් වී ඇති බව කියයි.
ජනාධිපතිවරයාගේ
ධූරකාලය, බලතල සීමා කිරීමත්,
ඉහළ ධූර සදහා තැනැත්තන් පත් කිරීමේ
අභිමතය ඉවත් කරමින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමත්, ජනාධිපතිවරයා
පාර්ලිමේන්තුවට වග කිව යුතු බවට විධිවිධානයක් එක් කිරීමත්, ජනාධිපතිවරයා
විසින් සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී යම් පුද්ගලයෙකුගේ මුලික අයිතිවාසිකම් කඩ
වුවහොත් එවැනි අවස්ථාවක මුලික අයිතිවාසිකම් නඩුවක් ශේෂ්ඨාධිකරණයට ගොනු කල හැකි
වීමත්, පාර්ලිමේන්තුව විසිරවීම සීමා කිරීමත්, ජනාධිපතිවරයාට
කිසිම ඇමතිධූරයක් දැරීමට නොහැකි බවට පත් කිරීමත් (වත්මන් ජනාධිපතිට පමණක් අමාත්‍යාංශ
03ක් තබා ගත හැකිය) ,
අවස්ථා 2කට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි
විධිවිධාන ඇතුළත් කිරීමත් එකී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයගේ ප්‍රසාදයට
ලක් වී ඇති කාරණා වේ.
ශ්‍රී
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කවර ආකාරයෙන් 19
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සතුටු වන්නේද?
යන්න පැහැදිලි නැතත් වර්තමානයේ විධායක
සහ ව්‍යවස්ථාදායකය අතර ඇති වී ඇති සීතල යුද්ධය සමග ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙන
එනු ලැබූ 19 ව්‍යවස්ථා සංශෝධනය සමාජයේ ස්ථායී පැවැත්ම වෙනුවෙන් වන්නක්ද? ඉදිරියේදී
රටේ සහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව පැන නගින අර්බුද කවරක් විය හැකිද? යන්නත්
අද දවසේ ශ්‍රී ලාංකික බුද්ධිමතුන් විමසා බැලිය යුතුමය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමත් සමගම ජනමතවිචාරණ ඡන්ද බලය, විධායක
ජනාධිපතිධූරය සහ ජනාධිපතිවරණය,
සමානුපාතික ඡන්ද ක්‍රමය රටට හදුන්වා දීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින්
පියවර ගත්තේ ය.
එහි
ශ්‍රී ලංකාව නම් කරන ලද්දේ නිදහස්,
ස්වෛරී,
ස්වාධීන,
ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයක් ලෙසය.
(නම එසේ දක්වා තිබුණත් රටේ නිදහසත් ස්වෛරීත්වයත්,
ස්වාධීනත්වයත්, ප්‍රජාතාන්ත්‍රික
බවත් කෙතරම් පිරිහීගොස් ඇත්ද යන්න ජනතාව
තීරණය කළ යුතුය) එසේම යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට විධායක
ජනාධිපතිවරයාට බලය ඇත. එසේම අමාත්‍යාංශ සංඛ්‍යාව තීරණය කිරීමටත්, අමාත්‍යධූර
දැරීමටත් විධායක ජනාධිපතිවරයාට බලය තිබුණි. එමෙන්ම ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය
පිරිනැමීමත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බවත් එහි
දක්වා තිබුණි.
1978 සිට අද දක්වා ආරක්ෂක අමාත්‍යාංශය සදහා සෘජු අධීක්ෂණය පාලනය
මෙහෙයවීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබීය. 2009 බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමටද
ජනාධිපතිවරයා සතුව ආරක්ෂක අමාත්‍යාංශය පැවතීම ප්‍රබල අධාරකයක් විය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනය මගින් සිදුකරන ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ අනතුර
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51
වන වගන්තියේ මෙසේ දැක්වේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක්
සඳහන් වුව ද මේ පනත ආරම්භ වන දිනයේ දී ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා එසේ
ජනාධිපති ධුරය දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි
සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත පවරා ගැනීම ද එකී
කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කරනු ලැබීම ද කළ හැකි අතර ඒ
අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාට යම් ලිඛිත නීතියක කරනු ලබන
යම් සඳහනක්, ජනාධිපතිවරයාට කරනු ලබන සඳහනක් ලෙස
කියවා තේරුම් ගනු ලැබිය යුත්තේ ය.
ඒ
අනුව 2015 ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට
1. රාජ්‍ය ආරක්ෂාව,
2. මහවැලි සංවර්ධනය සහ
3. පරිසරය අමාත්‍යාංශයද
4. එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය
කිරීමටද නීතිමය හැකියාව ඇත.
දැන්
සළකා බැලිය යුත්තේ ඉදිරියේ ජනාධිපතිවරණයකින් පසු බලයට පත්වන ජනාධිපතිවරයා සම්බන්ධව
සහ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යාංශය හිමිවන්නේ කාටද? යන්නයි.
ඒ
සම්බන්ධව විධිවිධාන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 43
වන වගන්තියේ මෙසේ දැක්වේ
(1)
අග්‍රාමාත්‍යවරයාගේ
අදහස් විමසීම අවශ්‍යයැයි
ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ
අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ
අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ
කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය.
(2) ජනාධිපතිවරයා
විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ
උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරෙන්
අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.
(3) ජනාධිපතිවරයා
විසින් කවර අවස්ථාවක දී වුව ද,
අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ
කාර්ය වෙනස් කිරස්ම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ
ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන
වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.
මෙහි
ඇති වැදගත් කොටස වන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 43.2
අනු වගන්තියේ දැක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන්
පත්කළ යුතුය යන්නයි.
එමෙන්ම
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ
පවරා ගැනීමට දැරීමට හැකිබව දක්වා නැති අතර එහි 42.3 අනුවගන්තියේ “ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයාද
වන්නේ ය. ”
ලෙස දක්වා තිබුණද 19
වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 43 වන වගන්තිය අභිබවා යාමට ඉන් හැකියාවක්
ලබන්නේ නැත. එනම් ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශයද තබා ගත නොහැකිය.
මෙහි ඇති සිනහ උපදවන කාරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (උ) ව්‍යවස්ථාව අනුව යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට
ජනාධිපතිවරයාට ඇති බලය ප්‍රකාශයකට පමණක් සීමා වීමයි.
ඉහත
කාරණා අනුව ඉදිරියේ පවත්වන ජනාධිපතිවරණයකින් පසු ආරක්ෂක අමාත්‍යාංශය සිය බාරයේ තබා
ගැනිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල හිමිකමක්/බලයක් ජනාධිපතිවරයාට ලැබෙන්නේ නැත. මෙය
ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාවට, සන්නද්ධ හමුදාවල පැවැත්මට, බුද්ධ
ශාසනයේ ස්ථාවරත්වයට බලවත් තර්ජනයකි.
“බුද්ධ ශාසනය” සම්බන්ධව මතු වී ඇති අනතුර
බුද්ධාගම
ආරක්ෂා කිරීමේදී වඩා වැදගත් තත්ත්වය වූයේ “බුද්ධ ශාසනය” යන
වචන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද ඒ ආකාරයෙන්ම එනම් Buddha Sasana කියා
තිබීමත් ඉංග්‍රීසියට පරිවර්තනය කර නොතිබීමත් ය. මෙය එංගලන්ත නීතියෙන් බලවන්තයන් වී
ඉන්නා නීති විශාරදයින් කියන අයට විශාල ගැටළුවක් වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව සම්බන්ධ
අර්ථනිරූපණය කරන අවස්ථාවකදී “බුද්ධ ශාසනය” Buddha Sasana සම්බන්ධව
එංගලන්ත නීති වාර්තා / All England Law Report මගින් කිසිම සහායක් ගැනීමට නොහැකි
වීමයි.
“බුද්ධ ශාසනය” වචන
ඉංග්‍රීසියෙන් පරිවර්තනය නොවී ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින
හෙයින් එම වචන අර්ථනිරූපණය කිරීමට එංගලන්තයට හෝ එංගලන්ත නීති වාර්තා වලින්
හැකියාවක් නැත. එය අර්ථනිරූපණය කළ යුත්තේ අටුවා,
ටිකා සහ පෙරදිග ධර්ම ග්‍රන්ථ මගින් සහ
පෙරදිග චින්තකයන්ගේ අදහස් විමසීමෙනි.
“බුද්ධ ශාසනය” සම්බන්ධව
ගැටලුවක් ඇති වන විට එම වචන අර්ථනිරූපණය කිරීමට පෙරදිග ශිෂ්ටාචරය විමසා බැලිය
යුතුය.
“නාගානන්ද” ව්‍යවස්ථාවෙන් කරන්නේ එම වචන දෙක එනම් “බුද්ධ ශාසනය” වචන
ඉවත්කර ඉංග්‍රීසියට පරිවර්තනය කළ හැකි
“බුද්ධ දර්ශනය” යන වචන ඇතුල් කිරීමයි. එවිට ලංකාව
සම්බන්ධව, බුදු දහම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයට/
බටහිරට පුලුවන. මන්ද “බුද්ධ දර්ශනය”යන වචනය ඉංග්‍රීසියට පරිවර්තය කළ හැකි
හෙයිනි.
“නාගානන්ද” ව්‍යවස්ථාවෙන් සූදානම් වන්නේ බුද්ධ
ශාසනය යන්න ඉවත්කර එංගලන්ත නීති වාර්තා වලින් සහ බටහිරට අවශ්‍ය ආකාරයට අර්ථනිරූපණය
කළ හැකි “බුද්ධ දර්ශනය" යන්න
ඇතුල් කිරීමයි. මෙසේ කිරීමෙන් සිදුවන්නේ බුදු දහම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට
එංගලන්තයට අවස්ථාව ලබා දීමයි. එනම් බුදු දහමේ පෙරදිග චින්තනය වෙනුවට අපරදිග
චින්තනය ඇතුලු වී බුද්ධ ශාසනය පරිහාණියට පත් වීමයි. පෙරදිග චින්තනයේ සහ පෙරදිග
ශිෂ්ටාචරයේ ආරක්ෂාව ලබන්නෝ මෙයට ඉඩදිය යුතු නැති අතර බුද්ධ ශාසනය අනතුරට පත් කළ
යුතු නැත.
සමාප්තිය
2009 බෙදුම්වාදය අවසන් කිරීමත් සමග ජිනීවා යුධ අපරාධ පරීක්ෂණ
බෙදුම්වාදී ඩයස්ෆෝරාවේ ප්‍රධාන සටන් පාඨය වූ අතර මේ වන විටත් දෙමුහුන් අධිකරණ
පිහිටුමේ යාන්ත්‍රණ පිළිබද තත්ත්වය අවසන් වී නැත.
ජනාධිපතිවරයා වෙත ආරක්ෂක අමාත්‍යාංශය පවතින තෙක් යුධ රහස්, යුධ තොරතුරු ජාත්‍යන්තරකරණය වීමේ අවස්ථාවක්
නොතිබුණද, ආරක්ෂක අමාත්‍යාංශය
සමානුපාතික ඡන්ද ක්‍රමයේ නියෝජනයන් ඉන්නා සහ බෙදුම්වාදී අදහස් ඇති පක්ෂ නියෝජිතයන්
ඉන්නා පාර්ලිමේන්තුව අතට පත්වීම සමග තත්ත්වය කෙසේ බරපතල වෙයිද? යන්නත් ඉන් රටට
බුද්ධ ශාසනයට සහ ජනතාවයගේ සාමකාමී දිවි පැවැත්මට සිදුකරන බලපෑම සම්බන්ධයෙන් රටට
ආදරය ඇති සියලු දෙනා බුද්ධියෙන් විමසිය යුතුය.
නීතිඥ
අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
2019.07.27
Comments
Post a Comment