Skip to main content

ඇතැම් විශාරදයන් ජනතාවගෙන් සගවන 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති 44.2 ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අමාත්‍යය ධූරයක් දැරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බාධාව සහ එය ජයගත හැකි ආකාරය.....!


ඇතැම් විශාරදයන් ජනතාවගෙන් සගවන 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති 44.2 ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අමාත්‍යය ධූරයක් දැරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බාධාව සහ එය ජයගත හැකි ආකාරය.....!





19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44.2 අනු ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට තමා යටතේ තිබිය යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව නිශ්චය කිරීමටත්, අමාත්‍යාංශයක යම් විෂයක් හෝ කාර්යයක් පවරා ගැනීමටත් ප්‍රතිපාදන සළස්වා තිබුණි. එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අමාත්‍යධූර දැරීමට තිබූ එකී අයිතිවාසිකම සහ ව්‍යවස්ථානුකූල බලය ඉවත්කරනු ලැබීය. එසේ ඉවත් කරනු ලැබූයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 9වන වගන්තිය මගිනි.


19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  44.(2) අනු ව්‍යවස්ථාව මෙසේය.


44(2) ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කාර්යයක් තමාට ම පවරා ගැනීම කළ හැකි අතර මේ ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ  විධිවිධාන යටෙත් හෝ 45 වැනි ව්‍යවස්ථාවේ  (1) වැනි අනුව්‍යවස්ථාවේ  විධිවිධාන යටෙත් හෝ යම් අමාත්‍යවරයෙකුට පවරනු නොලැබූ යම්කිසි විෂයයක් හෝ කාර්යයක් භාරව සිටිය යුත්තේය. තත්කාර්ය සඳහා තමා භාරයේ තිබිය යුතු අමාත්‍යාංශය  සංඛ්‍යාව නිශ්චය කිරීම ද කළ හැක්කේය. ඒ අනුව, ඒ විෂයය හෝ කාර්යය පවරනු ලැබූ අමාත්‍යවරයා  සම්බන්ධෙයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම්කිසි ලිඛිත නීතියක හෝ ඇති සඳහනක් ජනාධිපතිවරයා සම්බන්ධෙයන් වූ සඳහනක් ලෙස කියවා තේරුම් ගත යුත්තේය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 9වන වගන්තිය මගින් 44.2 අනු ව්‍යවස්ථාව පමණක් නොව එතෙක් පැවති 42 සිට 53 දක්වා සියලු ව්‍යවස්ථා ඇතුලත් viii වන පරිච්ඡේදයම සම්පූර්ණයෙන්ම ඉවත්කිරීම කරනු ලැබූ අතර කෙසේ වෙතත් එතෙක් ධූරය දැරූ ජනාධිපතිවරණයා වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් සීමාවන ලෙස එම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය මගින් ඇමති ධූර 3ක් පමණක් දරන්නට අවස්ථාව සළසා දී තිබුණි.(රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය)

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2015 මැයි මස 15 දින කථානායකවරයා එයට අත්සන් තැබීමෙන් පසුය.19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ වගන්ති 51ක් ඇති අතර එහි 51වන වගන්තිය හේතුවෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නොතිබුණි.

19වනආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය මෙසේය.

51. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක් සඳහන් වුව ද මේ පනත ආරම්භ වන දිනයේදී ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා එසේ ජනාධිපති ධුරය දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත පවරා ගැනීම ද එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කරනු ලැබීම ද කළ හැකි අතර ඒ අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇත අමාත්‍යවරයාට යම් ලිඛිත නීතියක කරනු ලබන යම් සඳහනක්, ජනාධිපතිවරයාට කරනු ලබන සඳහනක් ලෙස කියවා තේරුම් ගනු ලැබිය යුත්තේ ය.

එනම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 මැයි මස 15 දින සිට ක්‍රියාත්මක වුවද එහි 51වන වගන්තිය හේතුවෙන් එතෙක් ධූර දරමින් සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් බලපාන ලෙස එහි 51වන වගන්තිය සම්මත කර තිබුණි. එනම් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය එතෙක් ධූරය දරන ජනාධිපතිවරයාගේ ධූරය අවසන්වන තෙක් දැරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දී තිබීමය.
2019 නොවැම්බර් 16දින ජනාධිපතිවරණය පවත්වා 2019 නොවැම්බර් 18 දින ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස ධූරය භාර ගැනීමත් සමගම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51වන වගන්තියේ ක්‍රියාකාරීත්වය නතර වේ. 2019 නොවැම්බර් 18 දිනෙන් පසු අමාත්‍යාංශ සදහා අමාත්‍යවරයන්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සහ  නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කළ යුත්තේ පිළිවෙලින්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.2, 44.1 සහ 45.1 ව්‍යවස්ථා අනුව සිදු විය යුතුය.

එකී ව්‍යවස්ථා පිළිවෙලින් මෙසේ ය. 
43 (2) ජනාධිපතිවරයාවිසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයාගේඋපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්අතුරෙන් අමාත්‍යවරයන්පත් කළ යුත්තේ ය.

44. (1) ජනාධිපතිවරයාවිසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයන් අතුරෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේ ය.
45. (1) ජනාධිපතිවරයාවිසින්, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ට ඔවුන්ගේ කාර්ය ඉටු කිරීමෙහි ලා සහාය වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේ ය.

ඒ අනුව සෑම අමාත්‍යවරයන්,අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සහ  නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් අතරින් පමණි.

ජනාධිපතිවරණය 2019නොවැම්බර් 16 දින පැවැත්වීමට පෙර ධූරයේ සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51වන වගන්තියේ විධිවිධානය මත රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂයට අදාල අමාත්‍යධූරයන් සතුකර ගැනීමට හැකියාව තිබුණද 2019 නොවැම්බර් 18 දින ජනාධිපති ධූරය භාරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂයට අදාල අමාත්‍ය ධූර දැරිය නොහැකිය. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ආ) ව්‍යවස්ථාවද සැළකිල්ලට ලක් කළද 4.(අ) ව්‍යවස්ථාව තිබියදී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය ඇතුළත් කර තිබුණි. 4.(ආ) ව්‍යවස්ථාව අනුව ආරක්ෂක විෂය ජනාධිපතිවරයාට තබා ගතහැකි වූයේ නම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තියට රාජ්‍ය ආරක්ෂාව ඇතුළත් කිරීමක් අවශ්‍ය නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ආ) ව්‍යවස්ථාව මෙසේ ය.
4 (ආ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය.

ඉහත විධිවිධාන එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.ආ ව්‍යවස්ථාව,43.2 ව්‍යවස්ථාව, 44.1 ව්‍යවස්ථාව සහ 45.1ව්‍යවස්ථාව සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය සැළකීමේදී 2019 නොවැම්බර් 18 දින ජනාධිපති ධූරය භාරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසියම් හෝ අමාත්‍ය ධූරයක් දැරීම සිදුවුවහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව පැහැදිලි අතර 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමට පෙර රටේ ආරක්ෂාව සම්බන්ධව ලබා දුන් යම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වේ නම් එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් පසු ආදේශ කිරීම පිළිගත් නීතිමය පටිපාටිය නොවේ. ඒ අනුවආරක්ෂක විෂය පමණක් නොව කිසිම විෂයයක අමාත්‍යධූරයක් දැරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවස්ථාවක් නැත.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමට පෙර තිබූ viii පරිච්ඡේදය  හෙවත් විධායකය - අමාත්‍ය මණඩලය පරිච්ඡේදය 19වන සංශෝධනය මගින් ඉවත් කර ඇත. එම නිසා පෙර තිබූ 44.2 ව්‍යවස්ථාව එනම් ජනාධිපතිට ඇමති ධූර දැරීමට තිබූ බලතලය මේ වනවිට ඉවත්කර ඇත. ඒ නිසා ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු කිසිම අමාත්‍යාංශයක්  දැරීමට හෝ පවරා ගැනීමට වර්තමානයේ දී හැකියාවක් නැත.

ආරක්ෂාව සම්බන්ධව ඇති මේ ව්‍යවස්ථා අර්බුදය සමනය කළ හැකි ආකාරය

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇතිකර ඇත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා අර්බුදයකි. මෙය වහා සමනය කළ යුතුය. එය සිදුකිරීම මනා සංයමයෙන් සහ නීතිය පිළිබද අවබෝධයෙන් සහ එඩිතරව කළ යුතුය.

ඒ සදහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගත හැකි සඵල මාරගයක් වන්නේ  ආරක්ෂක අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතරින් පත් නොකර, එමෙන්ම තමන්ද ආරක්ෂක අමාත්‍ය ධූරය නොදරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ආ) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව සහ ජනාධිපති ලේකම් මාර්ගයෙන් සහ ලේකම්වරුන්ට විධාන ලබා දීමේ බලය යටතේ සහ සේනාධිනායක වශයෙන් ආරක්ෂක ලේකම්වරයා මාර්ගයෙන් රටේ ආරක්ෂාව සම්බන්ධව අදාල ක්‍රියාමාර්ග ගැනීමටත්, නියෝග ලබා දීමටත් ජනාධිපතිවරයා වළක්වන කිසිම නීතිමය ප්‍රතිපාදනයක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත.

ඒ අනුව යමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය ලබා ගන්නා තෙක් 4(ආ) ව්‍යවස්ථා, මහජන ආරක්ෂක පනත, අනුව යමින් ආරක්ෂක ලේකම්වරයා  මාර්ගයෙන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල පියවර ගැනීමට හැකියාව ඇත.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col),PGDC(Col)
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com
2019.11.24


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය