19යේ දී ව්‍යවස්ථා 4කට ජනමතවිචාරණය නොදැක්ක ශ්‍රී පවන් අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් අගමැතිගේ හිංදු කටයුතු උපදේශක වීම අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන් විසින්ම අහිමි කර ගැනීමක්ද?
19යේ දී ව්‍යවස්ථා 4කට ජනමතවිචාරණය නොදැක්ක ශ්‍රී පවන් අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් අගමැතිගේ හිංදු කටයුතු උපදේශක වීම අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන් විසින්ම අහිමි කර ගැනීමක්ද?
(නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.29)
අධිකරණයේ ස්වාධීනත්වය යන්නට විවිධ අර්ථකථන තිබේ. ඉන් වඩා වැදගත් වන්නේ ජනතාව යුක්තිය පසිදලන යාන්ත්‍රණයෙහි ස්වාධීනත්වය කෙරෙහි දක්වන පිළිගැනීමයි. අධිකරණයේ නඩු කියන තැනැත්තා තරම් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිවහැකි වෙනත් තැනැත්තෙක් නැත.
විනිසුරුවරයාගේ පක්ෂපාතීත්වය හෝ අපක්ෂපාතීත්වය හෝ තමා කියන කරුණු වලට ඇහුම්කන් දෙන්නේද? නොදෙන්නේද? යන්න හෝ නීතිය සහ පෞද්ගලික බැදීම අතර ඇති ගැටීම ගැන හොදින්ම දන්නේ නඩු කටයුතු සදහා අධිකරණයට පිවිසෙන අය සහ ඒ දෙස බලා සිටින නීතිඥවරු සහ ජනතාවයි.
2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමග පැවති රජයේ ප්‍රධානීන්ට නඩු පිට නඩු වැටුණේය. වත්මන් ජනාධිපති, වත්මන් අගමැති, හිටපු ඇමතිවරුන් ඇතුලු පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල අය සම්බන්ධයෙන් පැවති නඩු කටයුතු
පිළිබදව ජනතාවට රහසක් නොවේ.
වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට අල්ලස හෝ දූෂණ පරීක්ෂණ කොමිසම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ නඩුවක්ද පවරා තිබුණි. හිටපු ජනාධිපති ලේකම්වරයා සිල් රෙදි බෙදීම සම්බන්ධයෙන් පැවති නඩුවක වරදකරු වූ අතර එම නඩුවේ අභියාචනය මේ දිනවල විභාග වේ. එකී නඩු බොරු නඩු වුවද, ඇත්ත නඩු වුවද ඔවුන්ට එරෙහිව අධිකව නඩු පැවරීමට 2015 බලයට පත් පාලන තන්ත්‍රය කටයුතු කළේය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2015 වර්ෂයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර, එවකට සිටි ශ්‍රී පවන් අගවිනිසුරු ඉදිරියේ එකී පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලත්වය පරීක්ෂා කළ අතර, ජනමතවිචාරණයකට යා යුතුව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා සම්බන්ධයෙන් ජනමතවිචාරණයක අවශ්‍යතාවය නොදකිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලිවීමට ශ්‍රී පවන් අගවිනිසුරු ක්‍රියා කර ඇති බව මේ වන විට රහසක් නොවේ.
ශ්‍රී පවන් අගවිනිසුරුවරයා 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රමාද දෝෂයකින් (Per Incuriam) ලබා දී ඇති තීරණයක් බව 2020 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලබා දී ඇති තීරණයේ 33, 35, 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යතාවය දැක්වීමෙන් පැහැදිලි වේ.
2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ජනමතවිචාරණයකට යා යුතු ව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා සහ තවත් ව්‍යවස්ථා රාශියක් ජනමතවිචාරණයක් නොමැතිව පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් 80.1 ව්‍යවස්ථාව යටතේ කථානායකවරයාගේ සහතිකය මගින් පමණක් නීතියක් බවට පත්කර ගැනීමට හැකිවන ලෙස වූ ශ්‍රී පවන් අගවිනිසුරුවරයාගේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පදනම් වෙමින් පාර්ලිමේන්තුව විසින් 19ය 2/3 කින් සංශෝධනය කර ගන්නා ලදී.
වත්මන් ජනාධිපතිවරයා 2020 දී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින්
එදා 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ක ඡන්දයෙන් පමණක් සංශෝධනය කරගෙන තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා ඇතුළු අනෙක් ව්‍යවස්ථා සංශෝධන නැවත ප්‍රති සංශෝධනය කිරීමට / යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ ගත් අතර, ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණයෙන් දක්වා සිටියේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ක ඡන්දයෙන් පමණක් සිදු කළ නොහැකි බවත් ඒ සදහා
ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බවයි.
ඒ අනුව 2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 ක මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පනවා ගත් නීති නැවත පෙර තත්ත්වයට ගෙන ඒමට 2020 පාර්ලිමේන්තුවට 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දය සහ ජනමතවිචාරණයක අවශ්‍යතාවය තීරණය වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවක් වන අතර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සිදුවන අවස්ථාවක් වේ.
එනම් 2020 දි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා සංශෝධනය කිරීමට යාමේදී ජනමතවිචාරණයක අවශ්‍යතාවය ශ්‍රේෂ්ඨාධිකරණය දැක්කේ නම් 2015 දී 19ය ගෙනා අවස්ථාවේ ශ්‍රී පවන් අගවිනිසුරුවරයා එකී ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යතාවය නොදැක්කේ ඇයි? යන්න ජනතාවට ඇතිවන ප්‍රශ්නයකි.
අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරු පක්ෂපාතිවනවිට කෙළසී යයි. එදා 2015 දි ජනමතය විමසිය යුතු ව්‍යවස්ථා 4ක් ජනමතය නොවිමසා සම්මත කර ගැනීමට ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු විය. එකී ව්‍යවස්ථා කුමන්ත්‍රණය සාර්ථක කර ගත්තේ, 2015 පාර්ලිමේන්තුව ජනමතවිචාරණයකට යායුතු ව්‍යවස්ථා 4ක් ජනමතවිචාරණයට නොගොස් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සම්මත කරගෙන නීතියක් කර ගනිමිනි.
එකී ව්‍යවස්ථා කුමන්ත්‍රණය සදහා ජනාධිපති නීති විශාරදයන් කිහිප දෙනෙකු සම්බන්ධ වී සිටි අතර ඔවුන් අතරින් කිහිප දෙනෙක් මේ වන විට රට හැර ගොස් තිබේ. එහිදී ශ්‍රී පවන් අගවිනිසුරු දැන හෝ නොදැන ශ්‍රේෂ්ඨාධිකරණය සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය අවභාවිත කරමින් ජනමතවිචාරණයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සහාය දක්වමින් 2015 දී 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දී ඇත.
මේ වනවිට 2015 දී 19 ය ගෙන ඒමේදී සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගැසීමට එකී ජනාධිපති නීති විශාරදයන් සහ ඔවුන්ට සහාය දෙන කණ්ඩායම් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ගෙන එමින් පාර්ලිමේන්තුව මගින්ම එහි ව්‍යවස්ථාදායක බලය අත්හැරගනිමින් එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථා උල්ලංඝනය කරවා ගෙන ඇත.
2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 ක මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පනවා ගත් නීති නැවත පෙර තත්ත්වයට ගෙන ඒමට 2020 පාර්ලිමේන්තුවට 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දය සහ ජනමතවිචාරණයකට යන්නට සිදුවීම වත්මන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අහිමිකර ගැනීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 සහ 80.3 ව්‍යවස්ථා උල්ලංඝනය කර ගැනීමකි.
2/3 ක ඡන්දයෙන් පාර්ලිමේන්තුව පනවාගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැවත යථාතත්ත්වයට පත්කිරීමට / පෙර තත්ත්වයට පත් කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යතාවය ඇතිවීම සුලුවෙන් තැකීමට ජනතාවට නොහැකිය. 2/3 ක ඡන්දයෙන් පාර්ලිමේන්තුව පනවාගත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත යථා තත්ත්වයට පත් කිරීමටද/ පෙර තත්ත්වයට පත් කිරීමටද ජනමතවිචාරණයක අවශ්‍යතාවය මේ නිසා ඇති වේ.
එමෙන්ම ශ්‍රී පවන් වැනි අගවිනිසුරුවරයෙකු මගින් රටේ ඒකීය බව සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පවා ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබාගෙන සහ පාර්ලිමේන්තුව විසින් එකී සංශෝධනය 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සිදු කර පසුව ඒකීය බව සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය නැවත ඇති කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රීවරුන්ගේ ඡන්දය සහ ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ කැමැත්ත අවශ්‍ය වීමත් සිදු විය හැකිය.
මෙවැනි තත්ත්වයන් අධිකරණයේ ස්වාධීනත්වය හෝ නීතියේ පාලනය නොවේ. අධිකරණ බලය පටු අරමුණු වෙනුවෙන් / පුද්ගලික අරමුණු වෙනුවෙන් කරන අවභාවිත කිරීම් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විශ්‍රාම යාමෙන් පසු කටයුතු කරන ආකාරය විනිසුරු ධූරයේ කටයුතු කිරීමේදී කටයුතු කළ පෙර හැසිරීමෙන් වියුක්ත කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරු විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ගේ හැසිරීම පාලනය කරන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පනවා ඇත්තේ එහෙයිනි.
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් අගව්නිසුරු ධූරයේ කටයුතු කළ යුතුව සිටි ශ්‍රී පවන් අගවිනිසුරුවරයා විශ්‍රාම යාමත් සමග කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂක ධූරයට පත් වී රටේ වාණිජ කටයුතු වලට සම්බන්ධ වී සිට මේ වන විට අගමැතිවරයාගේ හිංදු ආගමික කටයුතු උපදේශක වී ඇත.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ විග්නේෂ්වරන් විනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයෙන් විශ්‍රාම ගොස් උතුරු පළාතේ මහ ඇමති වී අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වී ඇත.
19යේ දී ව්‍යවස්ථා 4කට ජනමතවිචාරණය නොදැක්ක ශ්‍රී පවන් අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් අගමැතිගේ හිංදු කටයුතු උපදේශක වීම ජනතාව බුද්ධියෙන් විමසිය යුත්තේ ඉතත සන්දර්භය තුළ රටේ නීතියේ පාලනය සහ අධිකරණයේ ස්වාධීනත්වය අහිමි කිරීමට විනිසුරුවරුන්ටද ඉඩ නොදිය යුතු හෙයින් ය.
arunaunawatuna@gmail.com
Comments
Post a Comment