Skip to main content

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිරුවත සායින්දමරුදු නගර සභා ගැසට්ටුව අත්හිටුවීමේ තිරයෙන් වසා ගැනීමට හැකිද?


19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිරුවත සායින්දමරුදු නගර සභා ගැසට්ටුව අත්හිටුවීමේ තිරයෙන් වසා ගැනීමට හැකිද?



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් 2022 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි සායින්දමරුදු නගර සභාවක් බවට පත් කර ඇති බවට 2020 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා අංක 2162/50 යටතේ නිකුත් කළ අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා විසින් එකී ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.

සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම 1987 වසරේ සිට තිබූ ඉල්ලීමක් බවත් ජාතිවාදී ස්වභාවයෙන් මුස්ලිම් අන්තවාදීන් විසින් කරන ඉල්ලීමක් බවට සමාජයේ අදහසක් ඇත. මෙතක් පැවති රජයන් ඒ ඉල්ලීම ඉටු කරනු නොලැබූ බවත් වර්තමාන රජය විසින් දැන හෝ නොදැන සායින්දමරුදු ප්‍රදේශය වෙනම බල නගර සභාවක් බවට පත් කිරීමට අවශ්‍ය නිල පිළිගැනීම ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති බවත් සාකච්ඡාවට ලක් වී ඇත.

සායින්දුමරුදු නගර සභාවක් කිරීම මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය ශක්තිමත් කිරීමක්නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවන්නේ වෙනම රටක් වෙනුවෙන් සහාය දීමටද? යන ප්‍රශ්නයද මේ වන විට විවෘතව සාකච්ඡා කරන මට්ටමට පත් වී ඇත.

සායින්දමරුදු නගර සභාවක් කිරීම මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය ශක්තිමත් කිරීමක් වන්නේ නම් එය වෙනම රටක් වෙනුවෙන් නම් එනම් එමගින් ශ්‍රී ලංකාවේ දේශ පූර්ණත්වය උල්ලංඝනය කිරීමක් සිදුවන්නේ නම් එයට අදාල නීතිමය පිළිගැනීම ලබා දී ඇත්තේ 2020 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා අංක 2162/50 යටතේ නිකුත් කළ අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් ය. රටේ ඒකීය බව ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ යුත්තේ වහාම එකී ගැසට් පත්‍රය අහෝසි කිරීමට තව ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීම හෝ ශ්‍රී ලංකාවේ දේශ පූර්ණත්වය උල්ලංඝනය කිරීම තහනම් කිරීමට ඇති විධිවිධාන යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (4) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහන පැතීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (1) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙළින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී හෝ ආධාර කිරීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තකු විසින් නොකළ යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (4) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, යම් දේශපාලන පක්ෂයක හෝ වෙනත් සංගමයක හෝ සංවිධානයක අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් වේ නම්, ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම ඒ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක්ව ඇති බවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් යම් තැනැත්තකු විසින්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය හැකි අතර, ඒ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ ලේකම් නැතහොත් වෙනත් නිලධරයා ඒ ඉල්ලීමට වගඋත්තරකරුවකු කරනු ලැබිය යුතු ය.

සායින්දමරුදු නගර සභා ගැසට්ටුව අත්හිටුවීමේ ගැසට් පත්‍රයක් පළකර තිබේද?

මහනගර සභා ආඥා පනතේ (252 පරිච්ඡේදය) 284 වගන්තිය යටතේ 2020 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා අංක 2162/50 යටතේ නිකුත් කළ අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් 2022 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි සායින්දමරුදු නගර සභාවක් බවට පත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා කටයුතු කළද මේ දක්වා එකී ගැසට් පත්‍රය අවලංගු කිරීමට හෝ අත්හිටුවීමට විධිමත් ලෙස ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර නැත. ඒ අනුව මගින් 2022 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි සායින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීමේ ක්‍රියාවලියේ වෙනසක් මේ දක්වා නීතිමය ලෙස සිදු වී නැත.
සායින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවන බව රජය වෙනුවෙන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළද මේ දක්වා එකී ගැසට්ටුව අත්හිටුවීමට අවශ්‍ය නීතිමය පිළිගැනීම ලබා දෙන ගැසට් පත්‍රයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළකර නැත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවන්නේ වෙනම රටක් වෙනුවෙන්ද?

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් මුල්වරට 2002 වර්ශයේ දී  පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ අතර එමගින් විධායක ජනාධිපති බලතල අහිමි කරමින් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යවකගේ සම්මතය ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණි. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් විය යුත්තේ ජනමතවිචාරණයකින් ජනතාව විසින් අනුමැතිය ලබා දී ජනාධිපතිවරයා විසින් එයට සහතිකය යෙදීමෙන් පසුව බවට 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය සභාවක් විසින් තීරණය කර තිබුණි.
2වන වරටත් නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් 2015 දී පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ අතර එමගින් 2002 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබූ පරිදිම විධායක ජනාධිපති බලතල අහිමි කිරීමට අදාල ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ සීමාව වසර 4 ½ක් දක්වා දීර්ඝ කර තිබුණි. 2015 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබෙන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට අදාල විධිවිධානය නීතියක් වීමට නම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය සභාව විසින් තීරණය කළ ජනමතවිචාරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයාගේ සහතිකය හිමි විය යුතුය යන අවශ්‍යතාවය මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් වෙනස් කර නැත.
එවන් තත්ත්වයක් යටතේ නීතියක් නොවූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත බලහත්කාරයෙන් පවත්වාගෙන යමින් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කිහිප දෙනෙකු ක්‍රියා කරයි. මෙය නිවැරදි කිරීම අද දවසේ ප්‍රමුඛ කාර්ය වන අතර සායින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීම මෙන් පහසුවෙන් එයද කළ හැකිය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනිව පවත්වාගෙන යන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙතුවෙන් රටේ ඒකීයත්වයට, ජනතාවගේ පරමාධිපත්‍යයට, ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීමට සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යන ප්‍රතිපාදනවලට බලවත් අනතුරක් ඇති කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  2, 3 සහ 9වන ව්‍යවස්ථාවල කාරණා සංශෝධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමතවිචාරණයක් නියම කළද එය නොතකා එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් සහ 79 ව්‍යවස්ථාව සහ 80.2  අනු ව්‍යවස්ථාද උල්ලංඝනය කරමින් 80.1 අනු ව්‍යවස්ථාව යටතේ කථානායකවරයාගේ සහතිකය යොදා (19වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්) 2, 3 සහ 9වන ව්‍යවස්ථා සංශෝධනය කිරීමටද පාර්ලිමේන්තුව කටයුතු කළ හැකිය.
වර්තමානයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැරදි ලෙස නීතියක් කර ගෙන යන ආකාරයට ඉදිරියේ දී 2, 3 සහ 9වන ව්‍යවස්ථාවල කාරණාද සංශෝධනය කිරීමේ අනතුර සායින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් පත්‍රය හරහා ලාංකිකයන් අවබෝධ කර ගත යුතුය.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන - 2020.02.20                             arunaunawatuna@gmail.com
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිරුවත සායින්දමරුදු නගර සභා ගැසට්ටුව අත්හිටුවීමේ තිරයෙන් වසා ගැනීමට හැකිද?

3
 

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය